Sunday, December 2, 2012

“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය 2013 වර්ෂයේදී…

ආදරය, ධෛර්යය සහ බලය යන තේමා මත නිර්මාණය කළ සිදුහත් ‍කුමරුන් මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුවීම් පෙළ රැගත් “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය 2013 වර්ෂයේ ජනවාරි මා‍සයේදී ඔබට දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියන් විසින් රචනා කරන ලද “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” පොත ආශ්‍රයෙන් තිර පිටපත ලියා ඇති මෙහි අධ්‍යක්ෂණය කර ඇත්තේ සමන් වීරමන් මහතා වන අතර නවීන් ගුණරත්න සහ ජෙෆ් ගුණවර්ධන මහත්වරුන් සම නිෂ්පාදක බර උසුලනවා. එඩ්වින් ආරියදාස, සමන් වීරමන්,‍ ජෝජ් පැල්ඩෝනා සහ නවීන් ගුණරත්න යන පිරිස එක්ව මෙහි ඉංග්‍රීසි පිටපත ලියා තිබෙනවා.
රුපියල් කෝටි 15 ක් පමණ වියදමින් ඉදි වී ඇති, මේ වන විටත් රූගත කර දෙබස් කවා ගීත සියල්ල ද අවසන් කර ඇති මෙම චිත්‍රපටයේ රංගනයට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්වීඩනය, නේපාලය, පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ නලු නිලියන් දායක වී සිටිනවා. සිදුහත් කුමරුන්ගේ චරිතය ඇතුලු ප්‍රධාන චරිත කිහිපයකටම තෝරා ගෙන ඇත්තේ ඉන්දීය නලු නිලියන් වීම මෙහි විශේෂත්වයක්. ඉන්දීය නලු නිලියන් තෝරා ගැනීමේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ හොඳ පවුල් පසුබිමකින් පැවතෙන, මස් මාලු අනුභවයෙන් වැලකුන පිරිසක් සම්මුඛ පරීක්ෂණයකට ලක් කර තෝරා ගෙන  තිබෙන බව පැවසෙනවා.

සිදුහත් කුමරු ලෙස ගගන් මලික්, යශෝදරා දේවිය ලෙස අන්චල් සිංග්, මහාමායා දේවිය ලෙස අශු මලික්, දේවදත්ත ලෙස ගෞතම් ගුලාම් යන ඉන්දීය නලු නිලියනුත් සුද්ධෝදන රජු ලෙස රන්ජන් රාමනායක,  සුප්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස් රනසිංහ, නන්ද කුමරු ලෙස රොෂාන් රණවන, චන්න ඇමති ලෙස සාරංග දිසාසේකර, විශ්ව මිත්‍ර ගුරු ලෙස බුද්ධදාස විතානාච්චි යන ලාංකීය රංගන ශිල්පීන් සහ ප්‍රජාපතී දේවිය ලෙස ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකාවේ අංජනී පෙරේරා රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙහි රූ ගත කිරීම් කිරීමේදී, කපිලවස්තු පුරයේ මාළිගය ඉදිවී ඇත්තේ කැළණියේ මානෙල්වත්ත විහාර භූමියේ වන අතර එහි ඇතුළත දර්ශනය ඉදි වූයේ බත්තරමුල්ලේ පැලවත්ත ප්‍රදේශයේ අක්කර 1 ½ක පමණ භූමියකයි. චිත්‍රපටය සඳහා කරන ලද සියලු ගවේශන කටයුතු, රූගත කිරීම් සඳහා නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාවේ ස්ථාන තෝරා ගැනීමටත්, පිටපත ලිවීම ඇතුලු කටයුතු සඳහා බරපැන දරා ඇත්තේ The Light of Asia පදනම විසිනුයි.
දැනටමත් රටවල් 48 ක් ඉංග්‍රීසි උපසිරැසි සහිතව ඉල්ලා ඇති අතර එමගින් රුපියල් කෝටි 25 ක පමණ ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වෙනවා.  භාෂා 5 කින් පමණ උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව ද බලාපොරොත්තු වෙනවා.

~ලිපිය උදයන්ති ප්‍රියංගා අලුත්වල සොහොයුරියගෙන් ~

2011 වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට 05 මෙන්න

01.
Harry Potter and the Deathly Hallows – Part 2
(ලොව පුරා සමස්ත ආදායම ඩොලර් බිලියන 1.3)
සුප්‍රසිද්ධ සහ ජනකාන්ත සිනමාපට පෙළක් වූ Harry Potter චිත්‍රපට මාලාවේ අවසානය සනි‍ටුහන් කළ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපටය සිනමා ඉතිහාසයේත් නව කඩ ඉමක් සනි‍ටුහන් කළා. ඒ ඇමෙරිකානු සහ ජාත්‍යන්තර යන සිනමා දෙවර්ගයෙන්ම මෙතෙක් වාර්තා වූ එක් දිනක් තුළ ඉපයූ ඉහළතම ආදායම සහ තිරගත වීම ඇරඹූ දින තුළ ඉපයූ ඉහළතම ආදායම හිමිකර ගනිමින්.
එය තිරගත වීම ඇරඹූ සිකුරාදා දිනයෙහි පමණක් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 92.1 ක්. එය ඇමෙරිකානු සිනමා ඉතිහාසය තුළ එක් සිනමා පටයක් දිනකදී ඉපයූ ඉහළතම මුදල බව සඳහන්.
එමෙන්ම ලොව පුරා තිරගත වීම මගින් එදින එය උපයා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 481.5 ක් වනවා. එයද චිත්‍රපටයක් ලොව පුරා එක් දිනක් තුළ ඉපිද වූ වැඩිම මූල්‍ය අගය බව සඳහන්.
02.
Transformers: Dark of the Moon
(ලොව පුරා සමස්ත ආදායම ඩොලර් බිලියන 1.1)
Transformers චිත්‍රපට මාලාවේ මූල්‍යමය අතින් වඩාත්ම සාර්ථක වූ චිත්‍රපටය වන මෙය ඇමෙරිකාව තුළ ප්‍රදර්ශනය ඇරඹුවේ ඇමෙරිකානු ජාතික දිනය වන ජූලි 4වැනි දින ආශ්‍රිත නිවාඩුවත් සමගින්.
ඇමෙරිකානු ජාතික දිනය යෙදෙන සතියේ සති අන්තය වන විට, කිනම් හෝ චිත්‍රපටයක් විසින් මේ තාක් උපයන ලද වැඩිම ආදායම වාර්තා කරන්නටද මෙය සමත්ව තිබෙනවා. ඒ මෙම වසරේ ඩොලර් බිලියනයේ ආදායම් සීමාවට ළඟා වූ ප්‍රථම ඇමෙරිකානු සිනමා නිෂ්පාදන සමාගම වීමේ අවස්ථාව Paramaount සමාගමට හිමි කරදෙමින්.
03.
Pirates of the Caribbean: On Stranger Tides
(ලොව පුරා සමස්ත ආදායම ඩොලර් බිලියන 1)
විදෙස් ආදායමින් ඩොලර් මිලියන 695.9 ක් උපයන ලද Pirates of the Caribbean: On Stranger Tides සිනමාපටය Disney සමාගම විසින් මෙතෙක් ලොව පුරා වැඩිම බෙදා හැරීමක් සිදු කර ඇති චිත්‍රපටයද වෙනවා.
මෙම චිත්‍රපටය සිනමා රසිකයින් මහත් ආදරයෙන් සහ ආශාවෙන් වැළඳගත් ලොව පුරා අති සාර්ථක ලෙස තිරගත වූවක්.
04.
Kung Fu Panda 2
(ලොව පුරා සමස්ත ආදායම ඩොලර් මිලියන 663)
DreamWorks Animation සහ Paramount යන සමාගම් හවුල් නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කර බෙදා හරින ලද මෙම සජීවීකරණිත සිනමාපටය විදේශයන්හි අති මහත් සාර්ථවකත්වයක් පෙන්නුම් කළ එකක්.
මෙය චීන සිනමා ආදායම් වාර්තා බිඳ හෙලන්නට සමත් වූ බව පැවසෙන අතර විදේශ විනිමය ලෙස ඩොලර් මිලියන 497 ක ආදායමක් ජනනය කළා.
05.
The Twilight Saga: Breaking Dawn – Part 1
(ලොව පුරා සමස්ත ආදායම ඩොලර් මිලියන 648)
The Twilight Saga සිනමා පෙළෙ’හි අවසන් පූර්ව සිනමාපටය ලෙස එළි දු‍ටු මෙම චිත්‍රපටය ඊට පෙර චිත්‍රපටය තරම් නිකුත් වූ දින ඉපයීමක් කරන්නට සමත් නූනත් ඇමෙරිකාව තුළ සිනමාපටයක් විසින් නිකුත් වූ සති අන්තය තුළ උපයන ලද ඉහළතම ආදායම් වාර්තා ලේඛනයේ පස් වන තැනට උරුමකම් කියනවා.
නමුත් නිකුත් වී එළැඹි ප්‍රථම සති අන්තයේ ඇමෙරිකාවෙහි ඉපයූ ආදායම වන ඩොලර් මිලියන 139.5 සහ විදේශයන් වෙතින් ඉපයූ ඩොලර් මිලියන 144 නිසා මෙතෙක් මෙම චිත්‍රපට මාලාවෙහි; නිකුත් වූ සති අන්තයෙහි ලොව පුරා වැඩිම ඉපයීමක් සිදු කළ චිත්‍රපටය බවට මෙය පත්ව තිබෙනවා.